එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් අප්‍රේල් 11 වනදා සිට 14 වනදා දක්වා දිවයිනේ කිසිදු ප්‍රදේශයකට ජල කප්පාදුවක් සිදු නොකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහතික වෙයි. උත්සව සමයේ පාරිභෝගික ජනතාවට සිදුවන අපහසුතා මගහැරවීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවල සිදු කිරීමට නියමිතව තිබූ පැය 24ක ජල කප්පාදුව උපරිම පැය 18 දක්වා අඩු කිරීමට ද මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ අනුව අදාළ ජල කප්පාදුවලට අදාළ කාලසටහන පහත පරිදි වේ.
පාදුක්ක ප්‍රදේශයට ඊයේ රාත්‍රී 8 සිට ජල සැපයුම අත්හිටුවීම ආරම්භ විය. හෝමාගම ප්‍රදේශයට අද (03) රාත්‍රී 8 සිට හෙට (04) දහවල් 2 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ. බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත සහ නාවල යන ප්‍රදේශ සඳහා දිනක් හැර දිනක් රාත්‍රී 10 සිට පසුදින අලුයම 1 දක්වා ක්‍රියාත්මක වන පැය 3ක ජල කප්පාදුව තවදුරටත් නොවෙනස්ව පවතී.
ජල කප්පාදුවට අදාළ සියලු තොරතුරු පාරිභෝගිකයන් වෙත කෙටි පණිවුඩ (SMS) මාර්ගයෙන් ලබා දීමට ද ජල සම්පාදන මණ්ඩලය කටයුතු කර ඇත. නඩත්තු කටයුතු හේතුවෙන් සිදුවන මෙම ජල කප්පාදුවලදී ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.














