හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ “පාස්කු ඉරිදා මහමොළකරු” කෘතිය එළිදැක්වීමේ උත්සවයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (02) විශේෂ ප්‍රකාශයක් කළේය. එම රූපරාමු කෘතිම බුද්ධි තාක්ෂණය (AI) භාවිත කරමින් සකස් කරන ලද ව්‍යාජ ඒවා බවට ඔහු චෝදනා කළේය.
කෙසේ වෙතත්, නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා එලෙස ප්‍රකාශ කළ ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම අවස්ථාවට සැබවින්ම එක්ව සිටි බව මාධ්‍ය වාර්තා සනාථ කරයි. මේ අතර, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ තම පක්ෂයේ නියෝජිතයන් එම උත්සවයට සහභාගී වූ බවයි.
එහෙත් එම ග්‍රන්ථයේ අඩංගු කරුණු හෝ එහිදී කථිකයන් පළ කළ අදහස් සමඟ තම පක්ෂය එකඟ නොවන බව මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය. පක්ෂයේ ප්‍රධානීන් දෙදෙනෙකු මෙම සිදුවීම සම්බන්ධයෙන් පරස්පර අදහස් දැක්වීම දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ.














