ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සමගි ජන බලවේගය (SJB) කොළඹ නෙළුම් පොකුණ පරිශ්‍රයේදී අද (08) සංවිධානය කළ උත්සවය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රතිපත්ති කිහිපයක් ප්‍රකාශයට පත් කළේය. කාන්තා අයිතිවාසිකම් වසරේ දින 365 පුරාම සුරක්ෂිත විය යුතු බව අවධාරණය කළ ඒ මහතා, ඒ වෙනුවෙන් “විශේෂ කාන්තා කාර්ය සාධක බලකායක්” පිහිටුවන බව දන්වා සිටියේය.
මෙහිදී ප්‍රධාන වශයෙන් කාන්තා සරසවි සිසුවියන් වෙනුවෙන් “ජන නල ලිය” වැඩසටහන යටතේ විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව පිරිනැමීම සහ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට හසු වී සිටින කාන්තාවන්ට නොමිලේ නීති ආධාර සැපයීමේ වැඩපිළිවෙළක් ද ඔහු හඳුන්වා දුන්නේය. ඉදිරි වසර දෙක තුළ ග්‍රාම නිලධාරී වසම් 14,008ක් සහ ගම්මාන 50,000කට වැඩි ප්‍රමාණයක් ආවරණය වන පරිදි කාන්තා සුභසාධන ජාලයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.














