විදේශ රැකියා ලබාදෙන බව පවසමින් සිදුකරන මූල්‍ය වංචාවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරමින්, පසුගිය මාස පහක කාලය තුළ (2025 ඔක්තෝබර් සිට 2026 පෙබරවාරි දක්වා) වින්දිතයන්ට අහිමි වූ රුපියල් මිලියන 194.5කට අධික මුදලක් යළි අයකර දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) සමත් වී තිබේ. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් 2025 සැප්තැම්බර් මාසයේදී කාර්යාංශය තුළ පිහිටුවන ලද විශේෂ පොලිස් ඒකකය හරහා මෙම නීතිමය ක්‍රියාමාර්ග ශක්තිමත් කර ඇති බව වාර්තා වේ.
පසුගිය මාස පහක කාලසීමාව තුළ කාර්යාංශය වෙත පැමිණිලි 2,081ක් ලැබී ඇති අතර, ජාවාරම්කරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු 244ක් ගොනු කර ඇත. කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් සිදුකළ වැටලීම් 19කදී සැකකරුවන් 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර බලපත්‍රලාභී ආයතන තුනකට සම්බන්ධ පුද්ගලයින් ද සිටීම විශේෂත්වයකි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, රුමේනියාව සහ මැදපෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසන වංචාකරුවන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බව කාර්යාංශය පෙන්වා දෙයි.
කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල් හෝ පෞද්ගලික ලිපිලේඛන ලබාදීමට පෙර කාර්යාංශය හරහා එහි නීත්‍යානුකූලභාවය තහවුරු කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙවැනි ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු 0112882228 හෝ 1989 යන ක්ෂණික ඇමතුම් අංක හරහා දැනුම් දෙන ලෙස ද කාර්යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.














