දූෂණ චෝදනා සහ විවිධ මතභේද මධ්‍යයේ පැවැති ස්ලෝවේනියානු මහා මැතිවරණයෙන් පසු එරට නව පාර්ලිමේන්තුව අප්‍රේල් 10 වනදා ප්‍රථම වරට රැස්වීමට නියමිත බව ස්ලෝවේනියානු ජනාධිපති නටාෂා පීර්ක් මුසාර් (Nataša Pirc Musar) ඊයේ (30) ප්‍රකාශ කළාය. මාර්තු 22 වනදා පැවැති මෙම තීරණාත්මක මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා නව රජයක් පිහිටුවීම සඳහා පක්ෂ අතර දැඩි සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට සිදුවනු ඇතැයි ඇය අනාවැකි පළ කළාය.
වත්මන් අග්‍රාමාත්‍ය රොබට් ගොලොබ්ගේ (Robert Golob) ලිබරල් නිදහස් ව්‍යාපාරය (GS) ආසන 90කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 29ක් දිනා ගනිමින් ඉතා සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි හිතවාදියෙකු ලෙස සැලකෙන ජැනෙස් ජැන්සාගේ (Janez Janša) ස්ලෝවේනියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (SDS) ආසන 28ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව ඇත. වත්මන් භූදේශපාලනික තත්ත්වය හමුවේ ස්ථාවර රජයක් කඩිනමින් පිහිටුවීමේ අවශ්‍යතාව ජනාධිපතිවරිය අවධාරණය කර ඇති අතර, පාර්ලිමේන්තුවට තේරී පත් වූ පක්ෂ හතේ නායකයින් සමඟ ඇය මේ වන විටත් මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ.















