ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධිවේගී මාර්ග සහ දුරගමන් බස් රථ සේවාවන් ශක්තිමත් කිරීම සඳහා නව සුඛෝපභෝගී ඩීසල් බස් රථ 200ක් මිලදී ගැනීමට ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය නිල වශයෙන් ටෙන්ඩර් කැඳවා තිබේ. මගීන්ට වඩාත් සුවපහසු සහ උසස් තත්ත්වයේ සේවාවක් ලබා දෙමින් ජාතික ප්‍රවාහන ප්‍රමිතීන් ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය. මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ ආසන 49ත් 54ත් අතර ධාරිතාවයකින් යුත් බස් රථ 200ක් මිලදී ගැනීමට නියමිත අතර ඉන් බස් රථ 29ක් සෘජු මිලදී ගැනීමේ පදනම මත ද ඉතිරි බස් රථ 171 වසර පහක වාරික ගෙවීමේ පදනම මත ද ලබා ගැනීමට නියමිතය. අදාළ ලංසු ලේඛන නිකුත් කිරීම මාර්තු 20 සිට අප්‍රේල් 09 දක්වා සිදු කෙරෙන අතර පූර්ව ලංසු රැස්වීම මාර්තු 31 වනදා පෙරවරු 10:00 ට කොළඹ 05 කිරුළ පාරේ පිහිටි ලංගම ප්‍රසම්පාදන අංශයේදී පැවැත්වේ. ලංසු ඉදිරිපත් කිරීම සහ විවෘත කිරීම අප්‍රේල් 10 වනදා පස්වරු 2:00 ට බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවන අදියරේදී සිදු කිරීමට නියමිත අතර මෙම ව්‍යාපෘතිය සඳහා ඉදිරිපත් වන නිෂ්පාදකයින්ට වසර 15කට වැඩි නිෂ්පාදන පළපුරුද්දක් සහ අදාළ බස් මාදිලියෙන් වසරකට ඒකක 1,000කට වැඩි නිෂ්පාදන ධාරිතාවක් තිබිය යුතුය. එසේම අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු පිළිබඳ අවම වශයෙන් වසර පහක පළපුරුද්දක් සහිත ලියාපදිංචි දේශීය නියෝජිතයෙකු සහ ප්‍රමාණවත් වැඩපළ පහසුකම් ද තිබිය යුතු බව ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.













