වෛද්‍යවරුන්ගේ දීමනාවලට සහ අයිතිවාසිකම්වලට කලක් තිස්සේ විරුද්ධ වූ රවී කුමුදේශ් සහ සමන් රත්නප්‍රිය යන වෘත්තීය සමිති නායකයන් සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සන්ධානගත වීම දැඩි දෝෂදර්ශනයට ලක් කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.
වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමට වඩා මෙම සන්ධානය පිටුපස පවතින්නේ දේශපාලන අවශ්‍යතාවක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි. වෛද්‍යවරුන්ට එරෙහි වූවන් සමඟ එක්වීම හරහා GMOA ආයතනය “නිර්ලජ්ජිතම වෘත්තීය සමිති සන්ධානය” බිහි කර ඇති බව එම නිවේදනයේ දැක්වේ.
මෙම සන්ධානය බිහි කිරීමත් සමඟ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සටන සහ ඔවුන් ඉදිරිපත් කළ යෝජනා විහිළුවට ලක්ව ඇති බව බහුතර වෛද්‍යවරුන්ගේ මතය වී ඇති බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙති.
තම අයිතිවාසිකම් දිනා ගැනීමට රජය සමඟ සාකච්ඡා කරනු වෙනුවට, දේශපාලන සිහින වෙනුවෙන් “ආණ්ඩු විරෝධී පෙරමුණු” සැකසීම සාමාන්‍ය වෛද්‍ය සාමාජිකයා බිල්ලට තැබීමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.














