ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ණය මුදලක් ගෙවූ වසර ලෙස 2025 වර්ෂය වාර්තා වන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා ප්‍රකාශ කරයි. කුරුණෑගලදී පැවැති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, බොහෝ පිරිස් 2028 වසරේදී වැඩිම ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බව පැවසුවද, රජය 2025 වසර තුළදී ඩොලර් මිලියන 3,900ක දැවැන්ත ණය වාරිකයක් ගෙවීමට පියවර ගෙන ඇති බවයි. සසඳා බැලීමේදී 2028 වසරේදී ගෙවීමට ඇත්තේ ඩොලර් මිලියන 3.2ක් වැනි සුළු මුදලක් බව ද ඔහු සඳහන් කළේය.
ණය ගෙවීමට අමතරව, 2025 වසරේදී වාහන ආනයනය සඳහා ඩොලර් මිලියන 2,100ත් 2,200ත් අතර මුදලක් වැය කර තිබියදීත්, ඩොලර් මිලියන 1,700ක මූල්‍ය අතිරික්තයක් වාර්තා කිරීමට රජය සමත්ව තිබේ. මෙම සාර්ථකත්වය අත්කරගෙන ඇත්තේ එම වසරේ උපයා ගත් ඩොලර් මිලියන 29,300ක සමස්ත ආදායමෙන් වැය කර ඇත්තේ ඩොලර් මිලියන 27,600ක් පමණක් වීම නිසා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. රජයේ ක්‍රමවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් මෙවැනි අභියෝගාත්මක ණය වාරික ගෙවීමට හැකි වූ බව මෙහිදී අවධාරණය කෙරිණි.














