අද වන විට රටේ පවතින උග්‍ර ඉන්ධන අර්බුදයට තිරසාර පිළියමක් ලෙස තලවකැලේ දුම්රිය ස්ථානය අසල පිහිටි අත්හැර දමා ඇති දැවැන්ත තෙල් ගබඩා සංකීර්ණය යළි සක්‍රිය කරන ලෙස ප්‍රදේශවාසීන් සහ ආර්ථික විශ්ලේෂකයෝ රජයෙන් ඉල්ලා සිටිති. විශාල ටැංකි 5කින් සමන්විත මෙම මධ්‍යස්ථානය කලක් තිස්සේ උඩරට කඳුකරයේ තේ වතු සහ නගර සඳහා අවශ්‍ය ඩීසල් සහ භූමිතෙල් සැපයූ ප්‍රධාන මර්මස්ථානයකි. එම්.වයි. හේමචන්ද්‍ර සහ සමාගම සතු මෙම පරිශ්‍රය මීට පෙර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූවකි.
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ගෝලීය ඉන්ධන සැපයුම අඩාල වී ඇති පසුබිමක, මෙවැනි ප්‍රාදේශීය ගබඩා සංකීර්ණ සක්‍රිය කිරීම හරහා කඳුකර ප්‍රදේශවලට අවශ්‍ය ඉන්ධන ආරක්ෂිතව ගබඩා කර බෙදාහැරීමේ හැකියාව පවතී. විශේෂයෙන්ම දුම්රිය මාර්ගය ඔස්සේ ඉන්ධන ප්‍රවාහනය කර මෙහි ගබඩා කිරීම මඟින් ප්‍රවාහන පිරිවැය අවම කර ගැනීමටත්, මධ්‍යම කඳුකරයේ පවතින ඉන්ධන පෝලිම් පාලනය කිරීමටත් මහඟු පිටුවහලක් ලැබෙනු ඇත. මෙම වත්කම් නිසි ලෙස කළමනාකරණය කිරීම ජාතික අවශ්‍යතාවක් බව බොහෝ දෙනා පෙන්වා දෙති.














