ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 18%ක් පමණ වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් බව ශ්‍රී ලංකා ජනගහන විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපතිනී මහාචාර්ය මනෝරි වීරතුංග මහත්මිය පවසයි. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී මෑතකදී පැවැත්වූ වාර්ෂික ජනගහන සමුළුව අමතමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
ජනගහනය ශීඝ්‍රයෙන් වයස්ගත වීම හමුවේ රටේ සෞඛ්‍ය පද්ධතිය වහාම ශක්තිමත් කළ යුතු බව මහාචාර්යවරිය අවධාරණය කළාය. මිනිසුන්ගේ ආයු අපේක්ෂාව වැඩි වී තිබුණද, නිරෝගීව ජීවත්වන කාලය (Healthy life expectancy) ඉහළ නැංවීමට සහ බෝ නොවන රෝග පාලනය කිරීමට ප්‍රමුඛතාවය දිය යුතු බව ඇය පෙන්වා දුන්නාය.
බොහෝ පුද්ගලයන් රෝග ලක්ෂණ උත්සන්න වන තෙක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවන බවත්, රෝග කල්තියා හඳුනා ගැනීම සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටා අනුගමනය කිරීමේ දැඩි හිඩැසක් පවතින බවත් මෙහිදී අනාවරණය විය.
සෞඛ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීම, රෝග කල්තියා හඳුනා ගැනීමේ ක්‍රමවේද සැකසීම සහ පුද්ගලයෙකුගේ උපතේ සිට මරණය දක්වා වන සම්පූර්ණ ජීවන චක්‍රයම ආවරණය වන පරිදි සෞඛ්‍ය සේවා සැපයීමේ (Life-course approach) අවශ්‍යතාව ඇය පෙන්වා දුන්නාය.
මෙරට ප්‍රජනන අනුපාතය ද ක්‍රමයෙන් පහළ යමින් පවතින අතර, තරුණ ජනගහනය දරුවන් බිහි කිරීමේ ප්‍රවණතාව අඩු කර ඇති බව සමුළුවේදී නිරීක්ෂණය විය. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) නියෝජිත පන්ට්ෂෝ වැන්ගෙල් මහතා ද මෙම උපායමාර්ගික අභියෝග පිළිබඳව මෙහිදී අදහස් දැක්වීය.














