ස්වභාවික ආපදා අවස්ථාවලදී සාම්ප්‍රදායික දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාල බිඳ වැටෙන විට විකල්ප විසඳුමක් ලෙස භාවිතා කළ හැකි ‘ආධුනික ගුවන්විදුලි හදිසි සන්නිවේදන ජාලයක්’ (Amateur Radio Emergency Communication Network) ස්ථාපනය කිරීම සඳහා ජපාන රජයේ සහාය හිමිව තිබේ. මෑත කාලීනව මෙරට ඇති වූ විවිධ ආපදා තත්ත්වයන්හිදී සහන මෙහෙයුම් සම්බන්ධීකරණය අඩාල වීම නිසා මුහුණ පෑමට සිදු වූ ගැටලුවලට පිළියමක් ලෙස මෙම පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංගමය (RSSL) ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන සඳහා අවශ්‍ය නවීන උපකරණ මිලදී ගැනීමට ජපාන රජය ඇමෙරිකානු ඩොලර් 181,837ක මුදලක් ප්‍රදානය කිරීමට එකඟතාව පළ කර තිබේ. මෙම ආධාරය ලබා දෙන්නේ ජපාන රජයේ ‘කලාපීය මානුෂීය ආරක්ෂක ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදානය කිරීමේ වැඩසටහන’ යටතේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය හරහායි.
ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර, ඒ අනුව ජපාන රජය සමඟ අදාළ ප්‍රදාන ගිවිසුම අත්සන් කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය හරහා ඕනෑම දරුණු ආපදා තත්ත්වයකදී වුවද අඛණ්ඩව සන්නිවේදනය පවත්වා ගනිමින් හදිසි සේවා සහ මානුෂීය සහන මෙහෙයුම් වඩාත් කාර්යක්ෂමව සම්බන්ධීකරණය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත.












