මෙරට ධීවර කර්මාන්තය නඟා සිටුවීම සහ ධීවර ප්‍රජාවගේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම වෙනුවෙන් රජය විසින් විශේෂ ඉන්ධන සහනාධාර මාලාවක් හඳුන්වා දී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළ පරිදි, පොදු ඉන්ධන සහනාධාරය යටතේ ඩීසල් ලීටරයකට ලබා දෙන රුපියල් 100ක සහනයට අමතරව, ධීවරයින් සඳහා තවත් රුපියල් 50ක විශේෂ අතිරේක සහනාධාරයක් ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව සාමාන්‍ය එන්ජින් සහිත බෝට්ටු හිමියන් සඳහා ඩීසල් ලීටරයකින් ලැබෙන සමස්ත සහනය රුපියල් 150ක් දක්වා ඉහළ යනු ඇත.
මීට අමතරව, ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත වන බහුදින ධීවර යාත්‍රා සඳහා ද සුවිශේෂී මූල්‍ය සහනයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව සෑම බහුදින ධීවර යාත්‍රාවක් සඳහාම එක් වරකදී රුපියල් එක්ලක්ෂ පනස්දහසක (රු. 150,000) විශේෂ ඉන්ධන දීමනාවක් ලබා දීමට රජය තීරණය කර ඇත. උත්සව සමය තුළ ධීවර පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, පාරිභෝගිකයාට සහනදායී මිලට මත්ස්‍ය නිෂ්පාදන ලබා දීමටත් මෙම සහන මාලාව බෙහෙවින් ඉවහල් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














