පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීම නිසා ජල විදුලි උත්පාදනයට බරපතල බාධා එල්ල වීමේ අවදානමක් මතුව ඇත. ඉහළ කොත්මලේ, කාසල්රි සහ මවුස්සාකැලේ යන ජලාශවල ජල ධාරිතාව මෙලෙස අඩු වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු තහවුරු කරති. පසුගිය 26 වැනිදා වන විට මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමේ සිට අඩි 40කට වඩා වැඩි ප්‍රමාණයකින් ද, කාසල්රි ජලාශය අඩි 39කට ආසන්න ප්‍රමාණයකින් ද පහළ බැස තිබේ. මෙම තත්ත්වය හමුවේ විමලසුරේන්ද්‍ර, කැනියොන්, ලක්ෂපාන සහ පොල්පිටිය වැනි ප්‍රධාන බලාගාරවල විදුලි උත්පාදන කටයුතු ඉදිරි දිනවලදී අඩාල විය හැකි බවට නිලධාරීන් අනතුරු අඟවයි.
ජල මට්ටම පහළ යාම විදුලි බලයට පමණක් නොව, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයට ද දැඩි පහරක් එල්ල කර ඇත. ලෝක ප්‍රකට ඩෙවෝන් සහ සෙන් ක්ලෙයාර් වැනි දිය ඇලිවල ජල ධාරිතාව අවම වීම නිසා ඒවායේ ස්වභාවික සුන්දරත්වය මේ වන විට ගිලිහී ගොස් තිබේ. මවුස්සාකැලේ සහ කාසල්රි ජලාශවල ජලය සිඳී යාමත් සමඟ වසර ගණනාවක් ජලයෙන් යටවී තිබූ පැරණි නටඹුන් ද යළි මතුවෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති. අධික උණුසුම සහ ජල හිඟය හේතුවෙන් වතුකරයේ ජනතාව ද දැඩි පීඩාවට පත්ව සිටින අතර, පවතින තත්ත්වය හමුවේ විදුලිය සහ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.














