ශ්‍රී ලංකාවට ජෛව තර්ජනයක් විය හැකි පරපෝෂිතයන් සහිත ශාක ද්‍රව්‍ය ගෙන්වීමේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් සිවිල් බුද්ධි පෙරමුණ අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එම පෙරමුණේ සංජය මහවත්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පැමිණිල්ල ගොනු කරන ලද අතර, මෙරට කෘෂිකර්මාන්තයට සහ ජෛව විවිධත්වයට එල්ල විය හැකි බරපතළ තර්ජනයක් පිළිබඳව ඔවුහු එහිදී කරුණු අනාවරණය කළහ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් සංජය මහවත්ත මහතා ප්‍රකාශ කළේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ උසස් නිලධාරිනියකගේ මැදිහත්වීම මත නීති විරෝධී ලෙස මෙවැනි ශාක ද්‍රව්‍ය මෙරටට ඇතුළු කර ඇති බවයි. බුද්ධි තොරතුරුවලට අනුව, අවස්ථා පහකදී ජෛව පරපෝෂිතයන් සහිත ශාක පෙට්ටි, අදාළ නියෝජ්‍ය අධ්‍යක්ෂවරියගේ වාචික නියෝග මත පමණක් පදනම්ව නිදහස් කර තිබේ. මෙම අනතුරුදායක ද්‍රව්‍ය සියල්ල මුලින්ම හඳුනාගෙන ඇත්තේ කටුනායක ගුවන්තොටුපළේ පිහිටි ශාක නිරෝධායන ඒකකයේ නිලධාරීන් විසිනි.
මෙම ක්‍රියාවලිය හුදෙක් මුදල් සෙවීමේ ජාවාරමක් නොව, විදේශගත කණ්ඩායම් විසින් මෙරටට එල්ල කරන ලද “ජෛව ප්‍රහාරයක” (Bio-attack) කොටසක් දැයි තමන්ට සැක සහිත බව මහවත්ත මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. රටේ ආහාර සුරක්ෂිතතාවය සහ ස්වභාවික පරිසරය අනතුරේ හෙළන මෙවැනි කුමන්ත්‍රණ පිටුපස සිටින සියලුම දේශීය සහ විදේශීය පාර්ශවයන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස සිවිල් බුද්ධි පෙරමුණ රජයෙන් ඉල්ලා සිටියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අදාළ නිලධාරිනියගෙන් ප්‍රකාශ ලබා ගැනීමට ද නියමිතය.














