ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳව මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී ඔහු අවධාරණය කළේ ගල් අඟුරු නිවැරදිද යන්න තීරණය කරන්නේ පුද්ගලික මතයන් මත නොව, පිළිගත් විද්‍යාත්මක පරීක්ෂණාගාර වාර්තා මත පදනම්ව බවයි. “ගල් අඟුරු නිවැරදිද කියලා බලන්නේ මම හෝ වෙනත් කවුරුහරි ඒක කාලා හපලා බලලා නෙමෙයි, ඒ සඳහා තිබෙන නියමිත පරීක්ෂණාගාර වාර්තා මඟින්” යැයි ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියේය.
මෑතකදී ආනයනය කරන ලද ගල් අඟුරු තොගයක ප්‍රමිතිය පිළිබඳව විවිධ පාර්ශව චෝදනා එල්ල කර තිබූ අතර, එම ගල් අඟුරු භාවිතය නිසා නොරොච්චෝලේ බලාගාරයේ ක්‍රියාකාරීත්වයට බාධා එල්ල වූ බවට ද වාර්තා පළ විය. මේ හේතුවෙන් තාප බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් විදුලි උත්පාදන පිරිවැය ඉහළ ගිය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, එම අතිරේක පිරිවැය ජනතාව මත පටවන්නේ නැති බවත්, ඒ වෙනුවෙන් රජය රුපියල් බිලියන 15ක සහන පැකේජයක් වෙන් කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. අදාළ ගල් අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් විනිවිද පෙනෙන විමර්ශනයක් සිදු කරන බවට ද මෙහිදී සහතිකයක් ලබා දෙන ලදී.














