ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) අනුව, 2026 පෙබරවාරි මාසයේ දී සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය දර්ශකාංක 70.3ක අගයක් වාර්තා කර තිබේ. පසුගිය මාසයේ වාර්තා වූ අතිශය ඉහළ අගයට සාපේක්ෂව මෙවර වර්ධන වේගය මඳක් අඩු වුවද, දේශීය ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ හා ස්ථාවර වර්ධනයක් මෙයින් මනාව පිළිබිඹු වේ. අඛණ්ඩව නව ඉදිකිරීම් ව්‍යාපෘති ලැබීම සහ පැවති යහපත් කාලගුණික තත්ත්වය මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.
විවිධ ඉදිකිරීම් ව්‍යාපෘති ලබා ගැනීමේ හැකියාව වැඩි වූ බව බොහෝ සමාගම් වාර්තා කිරීමත් සමඟ නව ඇණවුම් දර්ශකය ද ඉහළ ගොස් තිබේ. එසේම ඉදිරියටත් නව ව්‍යාපෘති ලැබෙනු ඇතැයි පවතින විශ්වාසය නිසා සේවා නියුක්ති දර්ශකය මෙන්ම තොග මිලදී ගැනීම් දර්ශකය ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇත. කෙසේ වෙතත්, ඉදිකිරීම් සඳහා ඇති ඉහළ ඉල්ලුම සහ චීන අලුත් අවුරුදු සැමරුම් ආශ්‍රිත ආනයන ප්‍රමාදයන් හේතුවෙන් ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මෙම මාසය තුළ තවදුරටත් වැඩි වී තිබේ.
ඉදිරි කාලය පිළිබඳව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බලාපොරොත්තු ඉහළ මට්ටමක පැවතුණද, මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම සහ සැපයුම් බාධාවන් ඇතිවීමේ අවදානමක් පිළිබඳවද ඉදිකිරීම් සමාගම් සිය අවධානය යොමු කර ඇත.














