බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව ඊයේ (09) රැස් වූ අතර එහිදී දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. ආචාර්ය නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පැවැති මෙම විශේෂ රැස්වීම පස්වරු 2:00 සිට රාත්‍රී 8:30 දක්වා පැය හයහමාරක පමණ දීර්ඝ කාලයක් පුරා පවත්වා තිබේ.
මෙම ගනුදෙනුවේදී සිදුව ඇත්තේ නොදැනුවත්ව සිදු වූ අතපසුවීමක් බව එක් පාර්ශවයක් තර්ක කළ අතර, තවත් පිරිසක් පෙන්වා දුන්නේ මෙය හිතාමතාම සිදු කරන ලද දූෂිත ක්‍රියාවක් බවයි. මෙහිදී ගල්අඟුරු ආනයනය, නොරොච්චෝල තාප බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු, ගල්අඟුරු සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් වූ විගණකාධිපති වාර්තාව සහ අදාළ ගල්අඟුරු සාම්පල පිළිබඳ රසායනාගාර වාර්තා කෙරෙහි දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.
මෙම රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා ගල්අඟුරු සමාගමේ නිලධාරීන් කැඳවා තිබූ අතර, ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් රැසක් ද සහභාගී වී සිටියහ. විපක්ෂය වෙනුවෙන් සුජීව සේනසිංහ සහ ඩී.වී. චානක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවාදය අවසන් වන තෙක්ම රැඳී සිටිමින් කරුණු ඉදිරිපත් කළහ. මේ වන විට බලශක්ති අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවට ද ඇතැම් පාර්ශවවලින් දැඩි ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී.














