ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් ජාත්‍යන්තර මට්ටමින් දූරකථන සහ අන්තර්ජාල මූල්‍ය වංචාවල නිරත වූ බවට සැකකෙරෙන චීන ජාතිකයින් 125 දෙනෙකු යළි එරටට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇති බව චීන මහජන ආරක්ෂක අමාත්‍යාංශය (MPS) තහවුරු කරයි. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහ චීන පොලිසියේ පූර්ණ සහයෝගය ඇතිව පසුගිය මාර්තු 29 වනදා මෙම පිටුවහල් කිරීම සිදු කර ඇති අතර මොවුන් මෙරට ස්ථාන කිහිපයක පවත්වාගෙන ගිය වංචනික මධ්‍යස්ථාන වැටලීමේදී අත්අඩංගුවට ගත් පිරිසකි.
මෙම මෙහෙයුම දෙරටේ පොලිස් දෙපාර්තමේන්තු අතර පවතින ජාත්‍යන්තර නීතිය බලාත්මක කිරීමේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ ප්‍රතිඵලයක් වන අතර විශේෂයෙන්ම මෑත කාලීනව අනෙකුත් රටවල සිට මෙවැනි වංචනික කණ්ඩායම් ශ්‍රී ලංකාව වෙත සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් හඳුනා ගැනීම නිසා මෙරට බුද්ධි අංශ සහ පොලිසිය ඒකාබද්ධව වැටලීම් දැඩි කර තිබේ. පිටුවහල් කළ සැකකරුවන් සම්බන්ධයෙන් චීනයේ හුබෙයි (Hubei) පළාතේ මහජන ආරක්ෂක අංශ මේ වන විටත් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර දේශසීමා ඉක්මවා යන මෙවැනි අපරාධ මැඩලීම සඳහා තවදුරටත් ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට චීන බලධාරීන් අපේක්ෂා කරයි. මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝකයේ අවධානය වෙනතකට යොමුව ඇති මෙවැනි සමයක මෙවැනි සයිබර් අපරාධකරුවන් සිය මධ්‍යස්ථාන වෙනස් කිරීමට උත්සාහ කරන බැවින් ශ්‍රී ලංකාව සිය ජාතික ආරක්ෂාව සහ ඩිජිටල් අවකාශයේ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.












