2025 නොවැම්බර් මස අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ දරුණු ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් අඩපණ වූ දේශීය නිෂ්පාදන අංශය නැවත නගාසිටුවීමට ස්වේච්ඡාවෙන් දායක වූ තාක්ෂණික විශේෂඥයින් සහ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගම් ඇගයීමේ උත්සවයක් ඊයේ (10) පැවැත්විණි. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවේදී, කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) පිහිටුවීමට තාක්ෂණික සහාය දුන් තිළිණ කුරුකුලසූරිය, රංග දයාවංශ, සංජය ඇල්විටිගල සහ ශඝීවන් සචින්තනාදන් යන මහත්වරුන් විශේෂ ඇගයීමට ලක් විය.
මූලික තක්සේරුවලට අනුව මෙම ස්වාභාවික ආපදාව නිසා නිෂ්පාදන අංශයට සිදුව ඇති සමස්ත ආර්ථික හානිය රුපියල් බිලියන 33.96ක් පමණ වේ. මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අමුද්‍රව්‍ය සහ තොග සඳහා වන අතර (රුපියල් බිලියන 10.2), යන්ත්‍රෝපකරණ හානිය සහ සැපයුම් දාම බිඳ වැටීම ද ප්‍රධාන ගැටලු ලෙස හඳුනාගෙන තිබේ. මෙම හානිය අවම කරමින් කර්මාන්ත 43ක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා John Keells, MAS, Brandix, Hayleys, සහ Unilever වැනි මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් අත්වැල් බැඳගෙන සිටීම විශේෂත්වයකි.
පීඩාවට පත් කර්මාන්ත වෙනුවෙන් ක්‍රියාත්මක ‘කර්මාන්ත පුනර්ජීවන අනුග්‍රාහක වැඩසටහනේ’ (IRFP) පළමු අදියර මෙලෙස නිම වූ අතර, ඉදිරියේදී මෙම කර්මාන්ත තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා IDFP (Industry Development Foster Program) නමින් නව වැඩසටහනක් දියත් කිරීමට ද අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ලෝක දේශපාලනික සහ ආර්ථික අර්බුද මධ්‍යයේ දේශීය කර්මාන්ත රැකගැනීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධව කටයුතු කිරීම මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයට මහත් ශක්තියක් වනු ඇත.














