පවතින මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් වෙළෙඳාම, විදේශ විනිමය ප්‍රේෂණ සහ සංචාරක යන ප්‍රධාන අංශ හරහා ශ්‍රී ලංකාව සැලකිය යුතු ආර්ථික අවදානමකට නිරාවරණය වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය සඳහන් කර ඇත්තේ මෙම ගැටුම්කාරී වාතාවරණය මෙරට ආර්ථික ඉදිරි දැක්මට සෘජු බලපෑමක් එල්ල කළ හැකි බවයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ සේවය කරන ලාංකිකයන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේෂණ සහ එම කලාපය සමඟ පවතින වෙළෙඳ සබඳතා මෙහිදී තීරණාත්මක වනු ඇත.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් එළඹෙන මාර්තු 26 වැනිදා සිට අප්‍රේල් 9 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ඒකාබද්ධ 5 වන සහ 6 වන සමාලෝචනයන් සම්පූර්ණ කිරීම සහ අදාළ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව මෙරට බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමයි. මෙම සාකච්ඡාවලදී මැදපෙරදිග යුද ගැටුම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇති කළ හැකි බලපෑම පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට මූල්‍ය අරමුදල් කණ්ඩායම අපේක්ෂා කරයි.
ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් දාමයන්ට එල්ල වන බාධා හමුවේ ශ්‍රී ලංකාව වැනි ආනයන මත පදනම් වූ ආර්ථිකයක් සහිත රටවලට මෙම තත්ත්වය දැඩි අභියෝගයක් වනු ඇත. එබැවින් ඉදිරි මූල්‍ය අරමුදල් සමාලෝචනයේදී මෙම නව ගෝලීය තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් මෙරට මූල්‍ය ප්‍රතිපත්තිවල සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව ද අවධානය යොමු වීමට නියමිතය.












