පවතින ගෝලීය යුද වාතාවරණය තවදුරටත් උග්‍ර වුවහොත් ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 350 සීමාව ඉක්මවා යා හැකි බව මහාචාර්ය ප්‍රසන්න පෙරේරා මහතා පවසයි. අද (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ මෙරට ආර්ථික ස්ථාවරත්වය මේ වන විට දැඩි අස්ථාවර මට්ටමකට පත්ව ඇති බවයි. රජය විසින් ඉන්ධන සඳහා යළිත් QR කෝටා ක්‍රමවේදය හඳුන්වා දීම සහ සතියේ වැඩ කරන දින ගණන සීමා කිරීම වැනි පියවර ගැනීම හරහා සමාජය තුළ දැඩි නොසන්සුන්තාවයක් වර්ධනය වෙමින් පවතින බව ද ඔහු අවධාරණය කළේය.
රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 07ක් ලෙස ප්‍රකාශ කළ ද, සැබවින්ම භාවිතයට ගත හැකි මට්ටමේ පවතින්නේ ඩොලර් බිලියන 5.5ක් වැනි ප්‍රමාණයක් බව මහාචාර්යවරයා මෙහිදී හෙළිදරව් කළේය. මෙම තත්ත්වය හමුවේ 2026 වසර සඳහා අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමෙන් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් බැහැර වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් නිරීක්ෂණය කර ඇත.














