ආසියානු සංවර්ධන බැංකුව (ADB) අද දින නිකුත් කළ “Asian Development Outlook (ADO) April 2026” වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ තීරණාත්මක පුරෝකථනයක් සිදු කර තිබේ. එම වාර්තාවට අනුව 2025 වසරේදී සෘණ 0.5ක මට්ටමක පැවැති මෙරට උද්ධමනය, 2026 වසරේදී සියයට 5.2ක් වැනි ඉහළ අගයක් දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම මෙම උද්ධමනකාරී තත්ත්වයට බලපාන ප්‍රධානතම සාධකය ලෙස හඳුනාගෙන ඇත.
මෙම තත්ත්වයට අමතරව විදේශ ප්‍රේෂණ ගලා ඒම අඩුවීම, ජාත්‍යන්තර වෙළෙඳාමට එල්ල වන බාධා සහ සංචාරක කර්මාන්තයේ පසුබෑම ද මෙරට ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව පෙන්වා දෙයි. මෙවැනි අභියෝගාත්මක පරිසරයක් තුළ සාමාන්‍ය ජනතාවගේ ගෘහස්ථ ආදායම් මට්ටම් කෙරෙහි දැඩි පීඩනයක් එල්ල විය හැකි අතර, එය රටේ සමස්ත ආර්ථික වර්ධනයට ද බාධාවක් වනු ඇත. 2024 සහ 2025 වසරවලදී සියයට 5.0ක ශක්තිමත් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත්ත ද, 2026 වසරේදී එම වර්ධන වේගය සියයට 4.0ක මධ්‍යස්ථ මට්ටමකට සීමා වනු ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.














