මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති ගැටුම්වලින් ලෝක ආර්ථිකයට බරපතළ අර්බුදයකට යා හැකි බැවින් ලංකාව වැනි රටවල ආර්ථිකයට ද එමගින් විශාල බලපෑමක් වන බවට මෙරට ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. මේ වන විට රටේ ආර්ථිකය යම්තාක් දුරකට ශක්තිමත් වී ඇති බව කියැවුණද තවමත් ජනතාවගේ ජීවන තත්ත්වය වර්ධනය වී නොමැති බවද කියැවෙයි. මේ සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහාචාර්ය ප්‍රගීත් වීරතුංග මහතා සමඟ කළ සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ පවතින සාර්ව ආර්ථික දත්ත අනුව යම් ස්ථාවරත්වයක් පෙනෙන්නට තිබුණද එය තිරසර තත්ත්වයක් නොවන බවයි.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්තවලට අනුව එක් පුද්ගලයෙකුට සිය අවම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට රුපියල් 16,730 ක මුදලක් අවශ්‍ය වන බැවින් සාමාන්‍ය පවුලකට රුපියල් 80,000 ක පමණ ආදායමක් අත්‍යවශ්‍ය වී තිබේ. රාජ්‍ය බැංකුවල ඇති අතිරික්ත මුදල් රටේ ආර්ථික කාර්යයන් සඳහා යෙදවිය යුතු බවත්, විශේෂයෙන්ම රටේ ආර්ථික කටයුතු මෙහෙයවන මධ්‍යම පාන්තික වෘත්තිකයන්ගේ බදු බර අඩු කර ඔවුන්ට සහන සැලසීමට රජය වහාම අවධානය යොමු කළ යුතු බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














