ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට බලපාන ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය සහ එහි පවතින ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) අතර විශේෂ සාකච්ඡාවක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව පැවැත්වුණු මෙම සාකච්ඡාවේදී අපනයනකරුවන් මුහුණ දෙන ඉන්ධන ලබා ගැනීමේ අපහසුතා, බෙදා හැරීමේ පවතින බාධාවන් සහ අපනයන ඉලක්ක කරගත් කර්මාන්ත සඳහා ප්‍රමුඛතා පදනමක් මත විශ්වාසදායී ඉන්ධන සැපයුම් යාන්ත්‍රණයක අවශ්‍යතාවය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට සෘජුවම දායක වන ඇඟලුම්, මැණික් හා ස්වර්ණාභරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, සමුද්‍රීය කර්මාන්ත, ඖෂධ, පිඟන් මැටි, රබර් සහ තාක්ෂණික ක්ෂේත්‍ර නියෝජනය කරන ආයතන සහ සංගම් රැසක නියෝජිතයන් සහභාගී වී සිටියහ. ඒ අතර ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය, ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය මෙන්ම මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) ඇතුළු ප්‍රමුඛ පෙළේ සංගම් රැසක් තම අදහස් ඉදිරිපත් කිරීමට කටයුතු කළහ.
මෙම සාකච්ඡාව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. ද එස්. රාජකරුණා මහතා සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි. ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම සහ සුවිශේෂී අපනයන කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙවැනි රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ සම්බන්ධතාවන් ශක්තිමත් කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය කැපවී සිටියි.














