ශ්‍රී ලංකා මුහුදු තීරයට එපිටින්දී ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය ‘IRIS Dena’ නමැති ඉරාන නෞකාව, ප්‍රහාරයට ලක්වන අවස්ථාවේදී කිසිදු ආයුධයක් හෝ බඩුබාහිරාදියක් ප්‍රවාහනය කරමින් නොසිටි බව ඉරානය ප්‍රකාශ කරයි. ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයිඩ් ඛාතිබ්සාදේ (Saeed Khatibzadeh) අද (06) ඉන්දියාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම නෞකාව ඉන්දියාවේ පැවැති ජාත්‍යන්තර නාවික අභ්‍යාසයක් සඳහා සහභාගී වී ආපසු එමින් සිටි ගෞරවනීය යාත්‍රාවක් පමණක් බවයි.
මෙම ප්‍රහාරයෙන් ඉරාන නාවිකයින් 87 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එය ඉතා කණගාටුදායක සහ අවාසනාවන්ත සිදුවීමක් බව ඔහු අවධාරණය කළේය. ඉන්දියාවේ විශාඛපට්නම්හි පැවැති ජාත්‍යන්තර නාවික සමාලෝචනයට සහ ‘Milan 2026’ බහුපාර්ශ්වීය නාවික අභ්‍යාසයට සහභාගී වීමෙන් පසු ආපසු ගමන් කරමින් සිටියදී පසුගිය බදාදා (04) මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින මෙම දරුණු ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් මැදපෙරදිග කලාපයේ පමණක් නොව ඉන්දීය සාගර කලාපයේ ද දැඩි නොසන්සුන්තාවක් වර්ධනය වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි. මෙම සිදුවීමත් සමඟ කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර නාවික ගමනාගමනය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබේ.














