මෙරට පවතින ඉන්ධන සැපයුම් බාධාවන්ට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා ඉන්දියාවෙන් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 38,000ක දැවැන්ත ඉන්ධන තොගයක් හෙට (28) කොළඹ වරායට ළඟා වීමට නියමිතව ඇත. පවතින ගෝලීය යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන ප්‍රවාහන නෞකා සොයාගැනීමේ දැඩි දුෂ්කරතාවක් මතු වූ අතර, ඒ හේතුවෙන් ලංකා IOC සමාගමට ඉන්ධන සැපයීමට මීට පෙර එකඟ වී සිටි මැදපෙරදිග සහ සිංගප්පූරු සැපයුම්කරුවන් සිය ඇණවුම් ඉටුකිරීමට නොහැකි බව දැනුම් දී තිබුණි. මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් කළ හදිසි ඉල්ලීමකට අනුව මෙම ඉන්ධන සහනය මෙරටට හිමිව තිබේ.
මෙම තීරණාත්මක සැපයුම සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉහළ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කිහිපයක්ම සිදු විය. ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 24 වැනිදා විශේෂ දුරකථන සාකච්ඡාවක් පැවැත්වුණු අතර, ඊට සමගාමීව විදේශ අමාත්‍යවරුන් වන එස්. ජයශංකර් මහතා සහ විජිත හේරත් මහතා ද මෙම හදිසි ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් එකඟතාවන්ට එළඹ තිබේ. මෙම ඉන්ධන තොගය ලැබීමත් සමඟ දිවයින පුරා පවතින පෝලිම් සහ සැපයුම් හිඟය යම් මට්ටමකට සමනය වනු ඇතැයි බලධාරීහු අපේක්ෂා කරති.














