පවතින බලශක්ති අර්බුදය හමුවේ විදුලිය සුරක්ෂිත කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ අත්සනින් යුතුව නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. මෙම නව රෙගුලාසි මඟින් රාජ්‍ය ආයතන මෙන්ම වෙළඳ සහ පොදු උත්සව සඳහා ද විදුලිය භාවිතය සීමා කිරීමට පියවර ගෙන ඇත.
නව මාර්ගෝපදේශවලට අනුව සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර පස්වරු 3.00 වන විට අනිවාර්යයෙන්ම අක්‍රිය කළ යුතුය. එමෙන්ම පළාත් පාලන ආයතන මඟින් පාලනය වන සියලුම වීදි ලාම්පු පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ නිවා දැමීමට උපදෙස් දී ඇත. රාත්‍රී 8.00න් පසු විදුලි ආලෝක සහිත වෙළඳ දැන්වීම් පුවරු සහ තිර නිවා දැමීම ද අනිවාර්ය වේ. මීට අමතරව පුද්ගලයින් 100කට වඩා සහභාගී වන විශාල උත්සව සහ සංගීත සංදර්ශන සඳහා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබා නොගත යුතු අතර ඒ සඳහා විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිතා කිරීමට කටයුතු කළ යුතුය.
මෙම පියවර මඟින් ජාතික විදුලි පද්ධතියට එල්ල වන අධික පීඩනය අවම කර ගැනීමටත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අඛණ්ඩව විදුලිය සැපයීමටත් රජය අපේක්ෂා කරයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවට ද සිය නිවෙස්වල විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස බලධාරීන් මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියි.















