ශ්‍රී ලංකාවේ පාරිසරික සංරක්ෂණ ක්‍රියාවලිය සහ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය වඩාත් විද්‍යාත්මක පදනමක පිහිටුවීමේ අරමුණින් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ පර්යේෂකයන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (10) පැවැත්විණි. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම හමුවේදී, දේශගුණික විපර්යාස හමුවේ තිරසර විසඳුම් සෙවීම සහ ජෛව විවිධත්වය සුරැකීම සඳහා දත්ත මත පදනම් වූ ප්‍රවේශයක ඇති වැදගත්කම දීර්ඝව සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම රොහාන් පෙතියාගොඩ, මහාචාර්ය යසාංජලී ජයතිලක සහ ආචාර්ය සමන්ත ගුණසේකර වැනි ප්‍රවීණ විද්වතුන් සතු තාක්ෂණික දැනුම අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය තීන්දු සමඟ බද්ධ කිරීමට මෙහිදී එකඟතාව පළ විය. මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ඇති වී තිබෙන ගෝලීය බලශක්ති අර්බුදය සහ මෙරට ආර්ථික අභියෝග මධ්‍යයේ වුවද, රටේ පාරිසරික පැවැත්ම තහවුරු කරන විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාවයි. සම්පත් කළමනාකරණය සහ දේශීය කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා ද මෙම විද්‍යාත්මක දත්ත භාවිත කිරීම හරහා වඩාත් ප්‍රායෝගික ප්‍රතිඵල ලබාගත හැකි වනු ඇත.














