2026 වසරේ ගත වූ පළමු මාස දෙක තුළ විගමණික ශ්‍රමිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුභසාධන කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 962ක මුදලක් වැය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 5,938 දෙනෙකු සඳහා මූල්‍ය සහාය සහ විවිධ සුභසාධන පහසුකම් සැලසීමට පියවර ගෙන තිබේ. මෙරට ආර්ථිකයට ප්‍රබල ශක්තියක් වන විගමණික ශ්‍රමික ප්‍රජාව දිරිමත් කිරීම සහ ඔවුන් මුහුණ දෙන ගැටලු අවම කිරීමේ අරමුණින් මෙම ප්‍රතිපාදන වෙන් කර ඇත.
විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, පවුල්වල සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා කාර්යාංශය හරහා විශේෂ වැඩසටහන් රැසක් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ඉදිරි මාසවලදී ද මෙම සුභසාධන කටයුතු තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය. රට වෙනුවෙන් විදේශ විනිමය උපයන ශ්‍රමිකයින්ගේ සුරක්ෂිතතාව සහ පවුල්වල ස්ථාවරත්වය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛතාවක් වී තිබේ.














