පවතින මැදපෙරදිග යුද අර්බුදය හේතුවෙන් මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ අපනයන කටයුතු සඳහා සියයට 5ක පමණ සෘජු බලපෑමක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් සියයට 8ක් මැදපෙරදිග කලාපය සමඟ සිදුකරන අතර විශේෂයෙන්ම එරටට සිදුකරන තේ අපනයනවලින් සියයට 52කට මෙම තත්ත්වය බලපා තිබේ. මෙම අවදානම අවම කරගැනීම සඳහා ඉදිරියේදී ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා රටවල් වෙත අපනයන ප්‍රවර්ධනය කිරීමට අපනයන සංවර්ධන මණ්ඩලය මේ වන විට පියවර ගනිමින් සිටී.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ පවතින අභියෝගාත්මක තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් නව ආයෝජන අවස්ථා දිනාගැනීමට කටයුතු කරන බවයි. මේ වන විටත් විදේශීය ආයෝජකයින්ගෙන් නව යෝජනා රැසක් ඉදිරිපත් වී ඇති අතර එමඟින් මෙරට ආර්ථිකයට නව පණක් ලබාදීමට අපේක්ෂා කෙරේ. කලාපීය නොසන්සුන්තාවය හමුවේ වුවද මෙරට නිෂ්පාදන සඳහා විකල්ප වෙළඳපොළවල් සොයායාම සහ ආයෝජන ආකර්ෂණය කරගැනීම රජයේ ප්‍රමුඛතම අරමුණ වී තිබේ.














