රට තුළ පවතින ඉන්ධන අර්බුදය සහ වැට් (VAT) බදු ඉහළ යාම හේතුවෙන් උත්සව කෑම වට්ටෝරු සඳහා අය කරනු ලබන ගාස්තු අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අකිල ජයරත්න මහතා සඳහන් කළේ මැයි මාසයේ සිට ලබාගන්නා නව ඇණවුම් සඳහා මෙම මිල ගණන් 15% ත් 20% ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි.
දැනටමත් ඇණවුම් කර ඇති කෑම වට්ටෝරු සඳහා ද 10% ක මිල වැඩි කිරීමක් සිදු කිරීමට සංගමය තීරණය කර ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම හමුවේ තම කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බැවින්, ව්‍යාපාරික ක්ෂේත්‍රය රැක ගැනීම සඳහා මෙම පියවර ගත් බව ඔවුහු පෙන්වා දෙති. කෙසේ වෙතත්, රජය මැදිහත් වී මෙම අර්බුදයට නිසි සහනයක් ලබා දෙන්නේ නම්, ඉහළ දැමූ ගාස්තු නැවත අඩු කිරීමට තම සංගමය සූදානම් බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














