වසර 2025 දී ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රය සුවිශේෂී වර්ධනයක් සනිටුහන් කර ඇති අතර, බැංකු සහ මූල්‍ය සමාගම්වල ලාභදායීත්වය මෙන්ම ණය දීමේ ධාරිතාව ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2024 වසරේ 4.1% ක්ව පැවති බැංකු අංශයේ සමස්ත වත්කම් වර්ධනය 2025 වසරේදී 21.4% දක්වා ඉහළ යාම මින් වඩාත් වැදගත් වේ.
මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව තහවුරු කරමින් බැංකු අංශයේ අදියර 3 ණය අනුපාතය (Stage 3 loan ratio) 2022 වසරෙන් පසු ප්‍රථම වරට තනි ඉලක්කමක අගයකට (9.7%) පැමිණ තිබේ. මූල්‍ය සේවා අංශය වෙත ලබා දුන් ණය ප්‍රමාණය 148.0% ක ශීඝ්‍ර වර්ධනයක් වාර්තා කර ඇති අතර, බැංකු අංශය 16.6% ක හිමිකම් මත ප්‍රතිලාභයක් (ROE) උපයා ගනිමින් සිය ශක්තිමත් මට්ටම ප්‍රදර්ශනය කර ඇත.
මූල්‍ය සමාගම් අංශය ද 2025 වසරේදී 51.9% ක ණය වර්ධනයක් වාර්තා කර ඇති අතර, වාහන ණය සහ රන් භාණ්ඩ ණය මේ සඳහා ප්‍රධාන වශයෙන් දායක වී තිබේ. එම අංශයේ බදු පසු ලාභය 45% කින් වර්ධනය වී රුපියල් බිලියන 61.5 ක් ලෙස සටහන් විය. මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) 41.9% කින් ඉහළ යමින් ආයෝජන විශ්වාසය තහවුරු කර ඇත.
කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින භූ-දේශපාලනික ගැටුම් සහ අයහපත් කාලගුණික තත්ත්වයන් මූල්‍ය පද්ධතියේ ණය ගුණාත්මකභාවයට බලපෑම් කළ හැකි බව මහ බැංකුව අනතුරු අඟවයි. එබැවින් තිරසර රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ විදේශීය සංචිත ශක්තිමත් කිරීම පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය බව මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරයි.














