සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රතිඤ්ඤා සහ ගිනිකෙළි සඳහා පවතින ඉල්ලුම සතුටුදායක මට්ටමක පවතින බව සමස්ත ලංකා ගිනිකෙළි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත් පසුගියදා බලපෑ ‘ඩිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් උත්සව සමය සඳහා සූදානම් කර තිබූ රතිඤ්ඤා තොගවලට දැඩි හානි සිදු වී ඇති අතර එය වෙළඳපොළ සැපයුමට සෘජුවම බලපා තිබේ. එම සංගමයේ සභාපති දිනේෂ් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය පොටෑසියම් නයිට්රේට් කෝටාවෙන් අප්‍රේල් මාසය සඳහා ලැබී ඇත්තේ සියයට 50ක් වැනි ප්‍රමාණයක් බවයි.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සල්ෆර්, පොලිතින් සහ අනෙකුත් රසායනික ද්‍රව්‍යවල මිල ලෝක වෙළඳපොළේ ඉහළ ගොස් ඇති අතර ඉන්ධන මිල වැඩිවීම නිසා ප්‍රවාහන වියදම් ද ඉහළ ගොස් තිබේ. නිෂ්පාදන පිරිවැය මෙලෙස කැපී පෙනෙන ලෙස ඉහළ ගියද පවතින වෙළඳපොළ තරගකාරිත්වය හමුවේ රතිඤ්ඤා අලෙවි මිල ඉහළ නැංවීමට නිෂ්පාදකයින්ට හැකියාවක් නොමැති බව සභාපතිවරයා පෙන්වා දෙයි. උත්සව සමයේදී අමුද්‍රව්‍ය සැපයුම විධිමත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීම් කළද මෙතෙක් ඒ සඳහා නිසි විසඳුමක් ලැබී නොමැති බවට ද ඔහු චෝදනා කරයි.
ලංකාවේ ගිනිකෙළි නිෂ්පාදනයෙන් සියයට 90ක්ම කේන්ද්‍රගත වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ කිඹුලාපිටිය ප්‍රදේශයේ වන අතර සුළි කුණාටුව හේතුවෙන් එම ක්ෂේත්‍රයේ නියුතු සේවකයින්ගෙන් සියයට 60කට පමණ සෘජු බලපෑම් එල්ල වී තිබේ. නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ ස්වභාවික විපත් මැද වුවද පාරිභෝගිකයින්ගෙන් පවතින ඉහළ ඉල්ලුම හේතුවෙන් නිෂ්පාදන කටයුතු උපරිම අයුරින් පවත්වාගෙන යාමට නිෂ්පාදකයින් උත්සාහ කරමින් සිටින බව ද වාර්තාවේ සඳහන් වේ.
















