මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපෑම් හමුවේ මෙරට ඉන්ධන සැපයුම් දාමයට එල්ල විය හැකි අභියෝග සැලකිල්ලට ගනිමින් ධීවර කර්මාන්තය සුරක්ෂිත කිරීම සඳහා රජය විශේෂ පියවරක් ගෙන තිබේ. ඒ අනුව ධීවර යාත්‍රා, මුහුදු ආහාර සැකසීමේ මධ්‍යස්ථාන සහ ජලජීවී වගා කටයුතුවල නිරත වන්නන්ට මුහුණ දීමට සිදුවන ඉන්ධන ගැටලු කඩිනමින් විසඳීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක වන සහය දුරකථන සේවාවක් (Hotline) ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය මගින් හඳුන්වා දී ඇත.
අදාළ කර්මාන්තවල නිරත වන්නන්ට ඉන්ධන ලබා ගැනීමේදී මතුවන ඕනෑම බාධාවක් හෝ ප්‍රමිතිය පිළිබඳ ගැටලුවක් වෙතොත් 0114323389 යන අංකය ඔස්සේ අමාත්‍යාංශය වෙත සෘජුවම කරුණු ඉදිරිපත් කළ හැකි බවත් එමගින් කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශය අවධාරණය කරයි. ඉන්ධන ජාවාරම්කරුවන්ට එරෙහිව වැටලීම් දැඩි කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා දුන් උපදෙස් ද සමඟින්, ධීවර ප්‍රජාවට අවශ්‍ය භූමිතෙල් සහ ඩීසල් සහනදායීව සහ බාධාවකින් තොරව ලබා දීම රජයේ මූලික අරමුණ වී තිබේ.














