මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 768ක් අවලංගු වී ඇති අතර, ඒ හේතුවෙන් සංචාරක පැමිණීම 30%කින් පමණ පහත වැටී ඇති බව සංචාරක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙම තත්ත්වයට පිළියමක් ලෙස සහ සංචාරක ව්‍යාපාරය යළි ප්‍රවර්ධනය කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සංචාරක ක්ෂේත්‍රයට අමතරව මෙරට අපනයන ක්ෂේත්‍රයට ද මෙම යුදමය තත්ත්වය සෘජු බලපෑමක් එල්ල කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පෙන්වා දෙයි. සමස්ත අපනයනවලින් 8%ක් පමණ නියෝජනය කරන්නේ මැදපෙරදිග කලාපය වන අතර, විශේෂයෙන්ම ඉරානයට අපනයනය කරන 35%ක තේ ප්‍රමාණය අර්බුදයට ලක්වීමේ අවදානමක් පවතී. එම තේ ප්‍රමාණය වෙනත් විකල්ප වෙළඳපොළවල් වෙත යොමු කිරීම පිළිබඳව මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.














