පසුගියදා මුහුදුබත් වූ ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ මෘත දේහ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජාත්‍යන්තර නීති රීති සහ සම්මුතීන් දැඩි ලෙස අනුගමනය කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේය. ඇමෙරිකානු මිසයිල ප්‍රහාරයකින් විනාශ වූ ‘අයිරිස් ඩෙනා’ (IRIS Dena) නෞකාවේ සිටියදී සොයාගත් මෘත දේහ 84ක් දැනට ශ්‍රී ලංකා බලධාරීන් භාරයේ පවතින අතර, ඒවා සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණ සහ අනන්‍යතාව තහවුරු කරගැනීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් යුතුව සිදු කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම දේහයන් ඉරානයට භාරදීමේ ක්‍රියාවලිය විදේශ කටයුතු අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය සමඟ එක්ව සම්බන්ධීකරණය කෙරෙන බවත්, යුදමය වාතාවරණයක් පැවතියද මියගිය නාවිකයන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. ජාත්‍යන්තර මුහුදු සීමාවකදී සිදු වූ අනතුරක් බැවින් ‘ජිනීවා සම්මුතිය’ ඇතුළු ජාත්‍යන්තර නීතිමය රාමුව තුළ කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී පෙන්වා දී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින මතභේදාත්මක තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව මානුෂීය මෙහෙයුම් සිදු කරන මැදිහත්කරුවෙකු ලෙස ඉතා වගකීමෙන් කටයුතු කරන බව රජය පවසයි.














