මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ ආහාර සුරක්ෂිතතාව සුරැකීම වෙනුවෙන් ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් ඊයේ (06) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත සහ අමාත්‍ය වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සහ මිල පාලනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය.
මෙහිදී ආහාර නිෂ්පාදනයට සහ ධීවර ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව ලබා දීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස අදාළ අංශවලට උපදෙස් ලබා දුන් අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංචිතයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි. එමෙන්ම කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී විදේශීය රටවල් විසින් පනවනු ලබන අපනයන සීමාවන් කළමනාකරණය කර ගන්නා ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ලෝක දේශපාලනික වෙනස්කම් හමුවේ දේශීය වෙළෙඳපොළ තුළ ආහාර හිඟයක් ඇති නොවීමට වගබලා ගැනීම මෙම කමිටුවේ මූලික අරමුණ වී තිබේ.














