මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට පාරිභෝගිකයන් අනවශ්‍ය කලබලයකින් යුතුව ආහාර ද්‍රව්‍ය රැස් කිරීමෙන් වැළකී සිටිය යුතු බව වෙළෙඳ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. දිවයින සතුව ප්‍රමාණවත් ආහාර සංචිත පවතින බැවින්, ඉදිරි උත්සව සමයේදී කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා සහ ආහාර ආනයනකරුවන්ගේ සංගමය අතර අද (20) පැවැති විශේෂ සාකච්ඡාවකදී අනාවරණය විය.
ගෝලීය තත්ත්වය හමුවේ සැපයුම් ජාල අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා කැබිනට් අනුකමිටුව සහ ආහාර සුරක්ෂිතතා කමිටුව කඩිනමින් රැස්වන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. විශේෂයෙන්ම ඉදිරි උත්සව සමය සහ යල් කන්නයේ වගා කටයුතු සැලකිල්ලට ගනිමින් තෙල්, පොහොර සැපයීම, වී මිලදී ගැනීම මෙන්ම වෙළඳපොළේ ලූනු සහ සීනි වැනි ද්‍රව්‍ය සුලභ කිරීමට අවශ්‍ය පියවර පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. ජාත්‍යන්තර ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හමුවේ ඉදිරියේදී භාණ්ඩ මිල යම් මට්ටමකින් ඉහළ යා හැකි වුවද, වෙළෙඳපොළ තුළ භාණ්ඩ හිඟයක් ඇති වීමට ඉඩ නොතබන බව ආනයනකරුවෝ මෙහිදී සහතික වූහ.
පවතින යුදමය තත්ත්වය හමුවේ මෙරටට වැඩිපුරම හාල්මැස්සන් ගෙන්වන ඉරානයෙන් ලැබෙන සැපයුමේ යම් බිඳවැටීමක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඊට විකල්පයක් ලෙස තායිලන්තයෙන් හාල්මැස්සන් ආනයනය කිරීමට මේ වන විටත් මෙරට ආනයනකරුවන් පියවර ගෙන ඇත. රජය මැදිහත් වී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කිරීමටත්, පාරිභෝගිකයාට සහන සැලසීමටත් අවශ්‍ය සියලු උපායමාර්ගික පියවර ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.














