මෙරට ඉන්ධන සංචිත පවතින බව රජය ප්‍රකාශ කර තිබියදීත් හදිසියේ මිල ඉහළ දැමීමට හේතු වූ කරුණු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය. ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල දළ වශයෙන් 37.76%කින් ඉහළ ගොස් ඇති අතර පිරිපහදු කළ ඔටෝ ඩීසල් 99.99%කින් ද, සුපර් ඩීසල් 99.6%කින් ද, 92 පෙට්‍රල් 75%කින් සහ 95 පෙට්‍රල් 79%කිනුත් ඉහළ යාම මෙම තීරණයට ප්‍රධානතම හේතුව වී තිබේ.
පසුගිය මාර්තු 1 වැනිදා සිට 9 වැනිදා දක්වා කාලය තුළ මෙරට ඉන්ධන පරිභෝජනය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර සාමාන්‍යයෙන් දිනකට අවශ්‍ය වන ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක ප්‍රමාණය වෙනුවට දින 9ක් ඇතුළත ඩීසල් මෙට්‍රික් ටොන් 59,200ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 47,500ක් පරිභෝජනය කර ඇත. මෙම අධික ඉල්ලුම හේතුවෙන් පැවැති ඉන්ධන සංචිත වේගයෙන් අවසන් වී ඇති අතර අලුතින් ඇණවුම් කළ තෙල් නැව් දිවයිනට පැමිණ ඇත්තේ ලෝක වෙළෙඳපොළේ ඉහළ ගිය නව මිල ගණන් යටතේ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මිල සංශෝධනය නොකළේ නම් පෞද්ගලික තෙල් සමාගම් ආනයනය සීමා කිරීම හෝ නතර කිරීම හරහා මෙරට තෙල් සැපයුමට බාධා ඇතිවීමේ අවදානමක් තිබූ බවත්, ආර්ථිකයට දරාගත නොහැකි බැවින් ලැබී ඇති පිරිවැයට වඩා අඩු ප්‍රමාණයකින් මිල වැඩි කළ බවත් හෙතෙම සඳහන් කළේය. මෙමඟින් ජනතාව ඉන්ධන පරිභෝජනය යම් ප්‍රමාණයකට සීමා කරනු ඇතැයි රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














