ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළේය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඩොලරයකින් ඉහළ ගියහොත් මෙරට ඉන්ධන මිල රුපියල් දෙකකින් ඉහළ යන බවත්, පවතින තත්ත්වය හමුවේ මිල තීරණය කිරීමේ තීන්දුව කඩිනමින් ගැනීමට රජයට සිදුවන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
දැනට මෙරට ඉන්ධන සැපයුමෙන් 43%ක් සිදු කරනු ලබන පෞද්ගලික සමාගම්, පවතින මිලට ඉන්ධන අලෙවි කිරීමෙන් එක් නෞකාවකින් ඩොලර් මිලියන 55ක පමණ පාඩුවක් ලබන බව ජනාධිපතිවරයා අනාවරණය කළේය. “ඔවුන් කියන්නේ මේ මොහොතේ පවතින පිරිවැයට අනුව මිලක් දෙන්නේ නැත්නම් තෙල් ගේන්න බැහැ කියලා. ඒක සාධාරණයි, පාඩු විඳගෙන කවුරුත් තෙල් ගේන්නේ නැහැ,” යනුවෙන් පැවසූ ඒ මහතා, බලශක්ති සැපයුම බිඳ වැටීමකින් තොරව පවත්වා ගැනීමට නම් පෞද්ගලික අංශයේ දායකත්වය අත්‍යවශ්‍ය බැවින් ඉන්ධන මිල ඉහළ දැමීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.
ඉදිරි ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජනාධිපතිවරයා, අප්‍රේල් මාසයේදී මෙරටට ළඟා වීමට නියමිත ඩීසල්, පෙට්‍රල්, දැවි තෙල් සහ ජෙට් ඒ-1 (Jet A-1) නෞකා සඳහා දැනටමත් ටෙන්ඩර් ප්‍රදානය කර ඇති බව ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඉරානයේ ෆුජේරා වරායට එල්ල වූ ප්‍රහාර සහ එහි පවතින තත්ත්වය හේතුවෙන් මාර්තු 24-25 දිනවල පැමිණීමට තිබූ බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක නෞකාව ඇතුළු බොරතෙල් නැව් කිහිපයක් නොලැබීම ඉදිරියේදී ගැටලු මතු කළ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.
ලෝකයේ බොහෝ රටවල් මේ වන විටත් ඉන්ධන මිල 6% සිට 50% දක්වා ඉහළ නංවා ඇති අතර, ශ්‍රී ලංකාව මෙතෙක් වැඩි කර ඇත්තේ 8%ක් වැනි සුළු ප්‍රතිශතයක් බව ද ජනාධිපතිවරයා මෙහිදී මතක් කර දුන්නේය. ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවරව පැවතියද, ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම සෘජුවම මෙරටට බලපා ඇති බවත්, පවතින මිල සූත්‍රයට අනුව ඉදිරියේදී මිල සංශෝධනයක් අත්‍යවශ්‍ය වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.














