මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල බැරලයක් ඩොලර් 120 සීමාව දක්වා ශීඝ්‍රයෙන් ඉහළ ගියද දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ නංවා ඇත්තේ පාරිභෝගිකයාට අවම බලපෑමක් එල්ල වන පරිදි ඉතා සුළු මට්ටමකින් බව වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. මෙවර මිල සංශෝධනය සියයට 10කටත් වඩා අඩු ප්‍රතිශතයකින් සිදු කර ඇති අතර රජය මැදිහත් වී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යම් සහනාධාරයක් ලබා දෙමින් ලෝක වෙළෙඳපොළේ පවතින සැබෑ මිල ඉහළ යාමේ බර ජනතාව මත පැටවීම වළක්වා ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් දාමයට බාධා එල්ල වී ඇති පසුබිමක මෙරට ඉන්ධන පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම රජයේ මූලික අරමුණ වී තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් සහ සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කට වඩා අඩු අගයකින් ඉහළ නංවා ඇති අතර මෙය ලෝක වෙළෙඳපොළේ පවතින මිල ඉහළ යාමට සාපේක්ෂව ඉතා සුළු අගයකි. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ වුවද විදුලිබල හා නිෂ්පාදන ක්ෂේත්‍රයන්හි පිරිවැය පාලනය කරමින් සාමාන්‍ය ජනතාවගේ ජීවන බර අවම කිරීමට රජය අඛණ්ඩව කැපවී සිටින බව ද මෙහිදී වැඩිදුරටත් සඳහන් විය.















