මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීමට සිදුවූ බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කළේය. මාර්තු 09 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ මෙම මිල වැඩිවීමේදී ඩීසල් මිල 100% කින් සහ පෙට්‍රල් මිල 70% කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, මෙය ලෝකයේ අනෙකුත් රටවල් මුහුණ දෙන තත්ත්වයට සාපේක්ෂව කළමනාකරණය කරගත් අගයක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඕස්ට්‍රේලියාව වැනි රටවල පවා තෙල් මිල 70% කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. “අපි කලින් කිව්වා ප්‍රමාණවත් තෙල් තොග තියෙනවා කියලා. ඒ වෙලාවේ අපි එහෙම කිව්වේ එන්න නියමිතව තිබුණු නැව් සහ පවතින තොග ගණනය කරලයි. නමුත් යුද්ධය හිතුවට වඩා කල් යාම සහ පාවිච්චි කරන බෝම්බ වර්ගය පවා තෙල් මිල කෙරෙහි බලපෑම නිසා හෙට දවසේ මිල ගැන අනාවැකි කියන්න බැහැ,” යනුවෙන් ඔහු පැවසීය.
ජනතාව පසුගිය දිනවල කලබලයට පත්ව තෙල් රැස් කිරීම (Panic buying) නිසා මාසය මැද වන තෙක් පාවිච්චි කිරීමට තිබූ තෙල් තොග ඉක්මනින් අවසන් වූ බවත්, දැන් නිකුත් කෙරෙන්නේ වැඩි මිලට ආනයනය කළ තෙල් බවත් ඔහු සඳහන් කළේය. අගෝස්තු මාසය දක්වා අවශ්‍ය තෙල් සැපයුම සැලසුම් කර ඇති නමුත් ප්‍රධානම ගැටලුව පවතින්නේ මිල සම්බන්ධයෙන් බව ඔහු අවධාරණය කළේය.
මෙම බැරෑරුම් අවස්ථාවේදී අනවශ්‍ය ගමන් බිමන් සීමා කරමින් තෙල් පරිභෝජනය අවම කරගන්නා ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. “අත්‍යවශ්‍ය ගමන් විතරක් යන්න. අපි හැමෝම සාමූහිකව මේකට මුහුණ දෙන්න ඕන. පෝලිම් වල ඉඳලා තෙල් එකතු කරගත්තේ නැත්නම් මේ මාසේ අවසන් වෙනකම් තෙල් පාවිච්චි කරන්න තිබුණා. අපේ වාසනාවට සැපයුම මේ පැත්තට තිබුණේ නැත්නම් තෙලුත් නැති වෙනවා,” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














