සහල් භාවිතයෙන් අතුරු නිෂ්පාදන සිදු කිරීම සම්බන්ධයෙන් දැනට පනවා ඇති සීමාවන් ඉදිරියේදී ලිහිල් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. අද (13) පැවැති මහවැලි ජල කළමනාකරණ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවයෙන් සපුරා ගත හැක්කේ සියයට 50ක් වැනි ප්‍රමාණයක් පමණක් බවයි. සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් වගා බිම් මෙරට නොමැති බැවින්, සහල් අතිරික්තය අතුරු නිෂ්පාදන සහ සත්ත්ව ආහාර සඳහා යොදා ගැනීමට ඇති බාධාවන් ඉවත් කිරීම කෙරෙහි රජය මෙලෙස අවධානය යොමු කර තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ කුඹුරු ඉඩම් ප්‍රමාණය වැඩි කිරීම වෙනුවට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් පවතින බිම් ප්‍රමාණයෙන් වැඩි අස්වන්නක් ලබා ගැනීමට ගොවීන් උනන්දු කරවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම, ගොවියා අස්වනු නෙළූ සැනින් වී අලෙවි කිරීම නිසා සිදුවන මූල්‍ය පාඩුව වළක්වා ගැනීම සඳහා, “වී වේලීම සහ ගබඩා කිරීම” යන අදියර දෙක ද ගොවි මට්ටමින්ම සිදු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම රජයේ ඉලක්කය වී තිබේ. වී අලෙවි මණ්ඩලය සතු ගබඩා සහ කාර්ය මණ්ඩල හිඟය පිළිගන්නා බවත්, පෞද්ගලික අංශය විසින් වී මිල අඩු කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා රජය මැදිහත් වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන්ම මෙරටට අවශ්‍ය ‘කීරි සම්බා’ සහල් ආනයනය කිරීමට සිදුව ඇති බැවින්, එම වී ප්‍රභේදය වැඩි වශයෙන් වගා කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය. පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් කෘෂිකර්මාන්තයට සිදු වූ හානිය අවම කර ගනිමින් නැවත වගා කටයුතු ආරම්භ කළ ගොවීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට මෙහිදී අමාත්‍යවරයා සිය ස්තුතිය ද පිරිනැමීය.















