ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී ඉරාන නෞකාවක් ගිල්වා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය ජාත්‍යන්තර නීතියට අනුකූලව ඉතා මධ්‍යස්ථව කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විපක්ෂය එල්ල කරන විවේචනවලට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ, අදාළ නෞකාවේ ළමයින් 300ක් සිටි බවට විපක්ෂයේ ඇතැම් පිරිස් පතුරුවන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
“විපක්ෂය කිව්ව අර ඉරාන නැවේ හිටපු ළමයි 300 දෙනා දැන් ලොකු වෙලාද දන්නෑ” යනුවෙන් උපහාසාත්මකව අදහස් දැක්වූ අමාත්‍යවරයා, විපක්ෂයේ එකම බලාපොරොත්තුව රට තුළ නොසන්සුන්තාවයක් ඇති කර හෝ කෙසේ හෝ බලය ලබා ගැනීම බවට චෝදනා කළේය. මෙවැනි සංවේදී ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම වගකීම් විරහිත ක්‍රියාවක් බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර සබඳතා පලුදු නොවන අයුරින් රජය මෙම තත්ත්වය කළමනාකරණය කරන බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සහතික කළේය.














