මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති දරුණු යුදමය වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ නිල ස්ථාවරය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (02) ප්‍රකාශයට පත් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ ශ්‍රී ලංකාව කිසිදු ආකාරයක යුද්ධයක් අනුමත නොකරන බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉල්ලීම සහ මැදිහත්වීම වන්නේ වහාම යුද්ධය නවත්වා ලෝක සාමය තහවුරු කිරීමයි. මෙම දරුණු යුද ගැටුම් ලෝක සාමයට, කලාපීය ස්ථාවරත්වයට මෙන්ම ගෝලීය ආර්ථිකයට ද සෑම අංශයකින්ම දැඩි ලෙස බලපාන බව ඔහු පෙන්වා දුන්නේය.
මැදපෙරදිග කලාපයේ සේවය කරන ලක්ෂ දහයකට (මිලියනයකට) අධික ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය සියලු පියවර ගෙන ඇත. එමෙන්ම, ගුවන් ගමන් අත්හිටුවීම හේතුවෙන් මෙරට රැඳී සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.















