ශ්‍රී ලංකාවට පාලනය කළ නොහැකි මට්ටමේ පවතින ගෝලීය අභියෝග රැසකට මේ වන විට මුහුණ දීමට සිදු වී ඇතත්, කුමන බාධක මධ්‍යයේ වුවද රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීමට රජය පසුබට නොවන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය අවධාරණය කරයි. පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා විශේෂ කමිටු පහක් නම් කර ඇති බවත්, එමඟින් ඉදිරි අභියෝග ජය ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම් සිදු කරන බවත් ඇය පෙන්වා දෙයි. ලොව දියුණු රටවල් පවා පෝලිම් යුගයකට මුහුණ දී සිටියදී, ශ්‍රී ලංකාව එම පෝලිම් අවසන් කර සාමාන්‍ය ජන ජීවිතය ස්ථාවර කිරීමට සමත් වූ බව අමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය.
ඉදිරි උත්සව සමය වෙනුවෙන් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇති බව ද ඇය සඳහන් කළාය. මෙම ක්‍රියාවලියේදී රජයට පමණක් නොව ජනතාවට ද විශාල වගකීමක් පැවරී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරිය, විශේෂයෙන්ම බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීමේදී ජනතා සහාය අත්‍යවශ්‍ය බව අවධාරණය කළාය. විදුලි කප්පාදුවකින් තොරව ඉදිරියටත් කටයුතු කිරීමට නම් ජනතාව බලශක්තිය අරපිරිමැස්මෙන් යුතුව භාවිත කළ යුතු බව ඇයගේ අදහසයි.
මෙම අරමුණ පෙරදැරිව රජය විසින් “සුරකිමු ලංකා” වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති අතර, එමඟින් රටේ සම්පත් ආරක්ෂා කරගනිමින් අනාගත අර්බුද ජය ගැනීමට අපේක්ෂා කෙරේ. ජාතික වගකීමක් ලෙස සලකා බලශක්ති සංරක්ෂණයට දායක වන ලෙස ඉල්ලා සිටින අමාත්‍යවරිය, රජය සහ ජනතාව එක්ව කටයුතු කළහොත් ඕනෑම දැවැන්ත ගෝලීය අර්බුදයක් හමුවේ ශ්‍රී ලංකාව ආරක්ෂා කරගත හැකි බවට විශ්වාසය පළ කළාය. පටු දේශපාලන වාසි තකා සිදුකරන විවේචන පසෙක ලා රටේ ඉදිරි ගමන වෙනුවෙන් සහාය දෙන ලෙස ද ඇය මෙහිදී ඉල්ලා සිටියාය.
















