දිවයිනේ ප්‍රදේශ කිහිපයක මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (28) දිනයේත් “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුර සහ උතුරුමැද පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මෙම උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39ත් 45ත් අතර අගයක් ගනු ඇති බව අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පෙන්වා දෙයි. ඊයේ (27) දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.8ක් ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ඉදිරි දිනවලදී මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවට අනාවැකි පළ වේ.
පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් ඇතිවිය හැකි විජලනය, උෂ්ණාධික ආබාධ සහ උෂ්ණාඝාත (Heat Stroke) වැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ජනතාව පියවර ගත යුතු බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි. විශේෂයෙන් පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ සෘජුව හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටීම, නිතර ජලය පානය කිරීම සහ ලා පැහැති ලිහිල් ඇඳුම් භාවිත කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය උපදෙස්වල දැක්වේ. කුඩා දරුවන්, වැඩිහිටියන් සහ නිදන්ගත රෝගීන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, ක්ලාන්තය හෝ අධික මහන්සිය වැනි ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය සහය ලබා ගන්නා ලෙස ද දැනුම් දෙනු ලැබේ.














