දිවයිනේ ප්‍රදේශ රැසක දැනට පවතින අධික උණුසුම් සහිත කාලගුණික තත්ත්වය එළඹෙන අප්‍රේල් මස මැද භාගය දක්වාම පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබේ. සුළගේ වේගය අඩුවීම හේතුවෙන් පරිසරයේ සැබෑ උෂ්ණත්වයට වඩා වැඩි උණුසුමක් මිනිස් සිරුරට දැනෙන බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. මේ හේතුවෙන් අධික වෙහෙස මහන්සි වී වැඩ කරන පුද්ගලයන් තම සෞඛ්‍යය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු අතර වැඩි වශයෙන් ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ.
පවතින දැඩි හිරු රශ්මිය හමුවේ පාසල් දරුවන් ක්‍රීඩා කටයුතු හෝ එළිමහන් ක්‍රියාකාරකම් සඳහා යෙදවීමේදී ගුරුවරුන් සහ දෙමාපියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට ද කාලගුණ බලධාරීන් අනතුරු ඇඟවීමක් කර ඇත. පසුගිය පැය 24 තුළ දිවයිනේ උපරිම උෂ්ණත්වය රත්නපුර ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 36.4ක් ලෙස වාර්තා වූ අතර, අවම උෂ්ණත්වය නුවරඑළියෙන් සෙල්සියස් අංශක 8.1ක් ලෙස සටහන් විය. මීට අමතරව ඊයේ දිනයේදී මොනරාගල හඳපානාගල ප්‍රදේශයට මිලිමීටර් 13.8ක උපරිම වර්ෂාපතනයක් ද ලැබී තිබේ.














