දිවයින පුරා රෝහල්වල දැඩි සත්කාර ඒකක (ICU) තුළ වකුගඩු රෝගී සත්කාරක සේවා නංවාලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, දැඩි සත්කාර ඒකකවල ධාරිතාව පුළුල් කිරීම සහ වෛද්‍යවරුන්ගේ තාක්ෂණික කුසලතා වර්ධනය කිරීම රජයේ ජාතික ප්‍රමුඛතාවක් බවයි.
මෙම වැඩපිළිවෙළේ සුවිශේෂී පියවරක් ලෙස, දැඩි සත්කාර ඒකක තුළ උග්‍ර වකුගඩු ආබාධ (Acute Kidney Injury – AKI) සහිත රෝගීන් වෙනුවෙන් ලබාදෙන “අඛණ්ඩ වකුගඩු ප්‍රතිස්ථාපන චිකිත්සාව” (CRRT) පිළිබඳ විශේෂ පුහුණු වැඩමුළුවක් කොළඹ ජාතික රෝහලේදී පසුගියදා පැවැත්විණි.
මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා නිර්වින්දන සහ දැඩිසත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ සිංගප්පූරු මහ රෝහල (Singapore General Hospital) අතර ඇති කරගත් නව සහයෝගීතාවක් මතය. සිංගප්පූරු වෛද්‍ය කණ්ඩායමක මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම වැඩමුළුව මගින් නිර්වින්දන වෛද්‍යවරුන්, වකුගඩු රෝග විශේෂඥයින් සහ හදිසි ප්‍රතිකාර ඒකකවල වෛද්‍යවරුන්ගේ ප්‍රායෝගික සායනික දැනුම ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. බරපතල ලෙස රෝගාතුර වූ වකුගඩු රෝගීන් කළමනාකරණය කිරීමේදී නවීන තාක්ෂණය භාවිත කරන ආකාරය පිළිබඳව මෙහිදී විශේෂඥ දේශන සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නියමිතය.














