ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර “සුහදශීලී සහ ඵලදායී” සාකච්ඡාවක් පැවැත්වූ බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි. X (පෙර Twitter) සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් අමාත්‍ය හේරත් මහතා ප්‍රකාශ කළේ, දෙරට අතර පවතින සහයෝගීතාවයේ ප්‍රගතිය සමාලෝචනය කළ බවත්, කලාපීය සංවර්ධනයන් සහ කාලීන සිදුවීම් පිළිබඳව මෙහිදී අදහස් හුවමාරු කරගත් බවත්ය.
ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ පවත්වන අඛණ්ඩ හවුල්කාරිත්වය සහ මැදිහත්වීම ශ්‍රී ලංකාව ඉහළින්ම අගය කරන බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම කලාපීය ආරක්ෂාව සහ ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමු වී ඇති අතර, මෙම හමුව ශ්‍රී ලංකාවේ නව රජය සහ ඉන්දියාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.














